අතීත යුද්ධ
කකුලේ කැක්කුම එන්න එන්න වැඩිවෙනවා වගේ මට දැනෙන්නේ. තව පැය හතරක්වත් ඒක ඉවසාගෙන ඉන්න වෙනවා, උදේ සේකර එනතෙක්. ඇඳෙන් නැගිටින්න බැරිවුනාට මම කොහොමද සේකරට කියන්නේ මාව ගෙදර තනිකරලා යන්න එපා කියලා? මිනිහට පවුලක් ඉන්නවා, මට නැතිවුනාට.
ගෙදර තනි වෙන්න නරකම වෙලාව රෑ එකෙන් පස්සේ. පැය කීපයක් නිදාගෙන ඉඳලා ඇහැරුනාම ආයෙ ලේසියෙන් නින්ද යන්නෙ නෑ. ඒ වෙලාවේ මගෙ ඔළුව පිරෙන්නේ හොඳ සිතිවිලි වලින් නෙවෙයි. එළිය වැටෙන්න ඉස්සර මම මේ ලෝකෙන් චුත වෙයිද? අවුරුද්දකින් මා බලන්නවත් නොආ පවුලයි පුතයි සතුටු වෙයිද මං මැරිලා ගියොත්? මගෙ ජීවිතේ කාබාසිනියා කරපු කසිප්පු සිරාට හෙන වදියිද? තියෙන තුට්ටු දෙකත් ගන්න රෑ හොරු පනීද? හොරු ආවොත් ඇඳේ වැටිලා ඉන්න මට මොන වද දෙයිද? ගෙට ගිනි තියයිද? පිහියකින්…
“එපා … ආ… අනේ… එපා…”
පොඩි එකෙක් යටි ගිරියෙන් කෑගැහුවේ ගෙදර ඉස්සරහ පාරේ වගේ. ඒත් එක්කම ත්රී වීල් එකක් සද්ද දාගෙන පිටත්වුනා.
“ආ… හා… එපා…”
ත්රී වීල් සද්දෙත් එක්ක පොඩි එකා බෙරිහන් දෙන සද්දේ අඩුවේගන ගියා. පිටස්තර ලෝකේ සම්පූර්ණෙන්ම නිහඬ වුනත් පොඩි එකාගෙ වේදනාවේ දෝංකාරය මගෙ ඔළුවෙන් අයින් වුනේ නෑ.
ඇඟ පත හයිය තිබුන කාලේ ඔහොම විපත්තියක සද්දයක් යන්තම්වත් ඇහුනානම් මම විදුලිය වගේ නැගිටලා එතැනට දුවන්නේ. ඒ වගේ අවස්ථාවක තරුණ කාලේ යුධ හමුදාවෙන් ලැබුන පුහුණුව ඉබේම මගේ ඇඟ පාලනය කරන්න පටන් ගන්නවා. තත්වය තක්සේරු කරන්නෙත් තීරණ ක්රියාත්මක කරන්නෙත් සමාන්තරව - තත්පරෙන් තත්පරේට.
දැන් ඒවා බෑ. කෑ ගහලා අනතුරු හඟවන්න වත් ගෙදර වෙන කෙනෙක් නෑ.
මගෙ උඩුකය දහඩියෙන් නෑවිලා. පපුව ගඩ ගඩ ගාන්නේ හදවත පපු කුහරයෙන් එලියට පනින්න තැත් කරනවා වගේ. මම අත් දෙක පපුව උඩින් තියාගෙන ඇස් දෙක වහගත්තේ හැකි විදිහකට හුස්ම ගැනීම පාලනය කරන බලාපොරොත්තුවෙන්. නමුත් රෑ මැද පොඩි එකෙක් වේදනාවෙන් බෙරිහන් දෙන සද්දේ හිතෙන් අයින් කරලා භාවනාවක් පටන්ගන්න තරම් මගෙ හිතට හික්මීමක් නෑ.
මේ වගේ පොඩි එකෙක් කෑ ගහනවා මට අන්තිමට ඇහුනේ යුද්ධ කාලේ. වෙනසකට තිබුනේ ඒ කෙල්ල කෑ ගැහුවේ දෙමළෙන්.
…………………
“ගුඩ් මෝනිං සර්… ටොයිලට් යන්න ලෑස්තිද?”
මගෙ දවස පටන්ගන්නේ සේකරගෙ මේ වචනෙන්. හැමදාම.
“මෝනිං සේකර… වෙලාව කීයද?
මගෙ වචනත් දවසෙන් දවසට වෙනස් වෙන්නෙ නෑ. නමුත් සේකරට පෙනෙන්න ඇති මගෙ පොඩි වෙනසක්.
“සර්… අද ටිකක් ඇඟට මහන්සියි වගේ. ඊයෙ රෑ හොඳට නින්ද ගියෙ නැද්ද?”
රෑ ඇහුන කලබලය, පොඩි එකෙකුගෙ කෑගැසීමත් එක්ක, මගෙ ඔළුවට ආයෙත් ඇතුල්වුනා. හදවතයි හුස්ම ගැනීමයි ආයෙත් ඉක්මනින් දුවන්න පටන්ගත්තා.
“සේකර… ඊයෙ රෑ මාර කෙලියක් මෙතන ගේ ඉස්සරහ! තවම හිතාගන්න බෑ මොකද වුනේ කියලා!”
“මොකද්ද සර්?”
“පොඩි එකෙක් බෙරිහන් දෙනවා ‘එපා එපා!’ කියලා. ත්රී වීල් එකක් ස්ටාට් වෙලා පොඩි එකත් දාගෙන ගියා, ටක් ගාලා. මුළු එකටම ගියේ තත්පර කීපයයි!”
සේකර මා දිහා බැලුවේ කරුණාවෙන් වුවද ඒ බැල්මේ පොඩි සැකයක් ඇති බව මට වැටහුනා.
“සේකර හිතන්නේ මම හීනයක් දැක්කා කියල නේද? යකෝ උඹට වඩා ලොකු මිනිස්සු මං කියනදේ සැක කරලා බැට කාලා තියෙනවා!”
“නෑ සර් … මං හිතුවේ අර යුද්ධ කාලේ මතක ඉඳලා හිටලා එළියට එන්න පුළුවන් නේද කියලා…”
“ඒ සැරේ මනෝ විද්යාව! … හැබැයි දැන් මාව පුටුවේ තියලා ටොයිලට් එක්ක ගියෙ නැත්තං හරි අකරතැබ්බයක් වෙන්න ඉඩ තියෙනවා!”
හමුදා වෛද්ය බලකායේ කෙටි කාලයක් සේවය කළ සේකරට මගේ අවශ්යතාවයන් සපුරන්න අමාරු කාරියක් නෙවෙයි. සේකරට වඩා අමාරුව දැනුනේ මට. නිරෝගී ක්රියාශීලී ජීවිතයක් ගෙවූ මම පසුගිය පහලොස් වසර අබාධිතයෙක් ලෙස ජීවත් වෙන්නේ බිම් බෝම්බයකට පින්සිද්ධ වෙන්නයි. කොඳු ඇටයේ හානියකින් පටන්ගෙන කසිප්පුවෙන් සම්පූර්ණ කළ මගේ කාලකණ්ණි ජීවිතයේ අවාසනාවකට මොලය තවම හොඳින් ක්රියා කරනවා. ගතෙන් කළ නොහැකි දේ හිතෙන් පමණක් කිරීම ලොකු වේදනාවක් - සමහරවිට දැරිය නොහැකි වේදනාවක්.
“අපි තේ බීලා පාර ලඟට ගිහින් එමුද?”
“සර්ට ත්රී වීල් රෝද සලකුණු බලන්න ඕන නේද?”
මට හිනා ගියා.
“මට හීනෙන් ඇහුන ත්රී වීල් එකේ?”
එතකොට සේකරටත් හිනා ගියා.
“සර්ට හොඳනම් මටත් මොකද?”
…………………………….
අපි පොඩි කාලේ ගමේ තිබුන විශ්වාසයක් මට මතකයි. සන්නාසියෝ! මට මතක විදිහට අම්මලා උන්ට කිව්වේ තන්නාසියෝ කියලා.
“තන්නාසියෝ ළමයි අල්ලගෙන යනවා. පුතා ඉස්කෝලේ ඇරිලා තනියම එනකොට දන්නෙ නැති කාවත් එක්ක කතා එපා, හොඳද? අර හත්ගොඩ පැත්තේ කොල්ලෙක් ඔන්න අරගෙන ගිහින් ගිය මාසේ! ආයෙ කොහෙද - කොල්ලා ගියා නම් ගියා තමයි. ආයෙ එන්නෙ නෑ”
“කොහාටද ඔය ළමයි ගෙනියන්නේ?”
“මාළු වාඩි වලට තමා. වහල්ලු වගේ ගිනි අව්වේ කරවල වේලනවා… පවු!”
ඒ කාලේ සන්නාසියෝ ආවේ පයින්. ගෝනියකුත් අරගෙන එනවා, සාමාන්ය වෙළෙන්දෙක් වගේ, හැබැයි කොල්ලෝ තමා ගෝනියේ දාගෙන යන්නේ. ඉස්සරවෙලා පොඩි එවුන්ට සීනිබෝල දෙනවා යාළු කරගන්න - ඊට පස්සේ ගෝනියේ. ගමේ මිනිස්සු එහෙම ‘සන්නාසියෙක් අල්ලගෙන ගහක බැඳලා ගහපු කතාව මට හොඳටම මතකයි.
පස්සේ කාලේ තමා මට හිතුනේ අහිංසක වෙළෙන්දෙක් වෙන්න ඇති එහෙම ගුටි කෑවේ කියලා. තාත්තගෙන් ගුටි කන්න බැරුව හත්ගොඩ විජේපාල ගෙදරින් පැනලා ගියා මිස කිසි සන්නාසියෙක් එක්ක සම්බන්ධයක් නැති බව මට කිව්වේ මාත් එක්ක හමුදාවේ වැඩකරපු හත්ගොඩ මිනිහෙක්.
අපි හැමදාම ‘පිටගම් කාරයෝ ‘ අවිශ්වාස කළා. ඒකයි සන්නාසි වගේ නම් දමලා පිටින් එන මිනිසුන්ට එරෙහිකම් කළේ. නමුත් අපි ඔක්කොම දැන් දන්නවා ළමයින්ට හිංසා කරන්නේ පවුලේ අයමයි කියලා.
ජෝඩුවක් දික්කසාද වෙන වෙලාවකදී වැඩි හරියක් වද විඳින්නේ දරුවෝ; විශේෂයෙන්ම බාල දරුවෝ. මට ඇහුන ත්රීවීල් කාරයා තමාගෙ ළමයෙක් එපා කියද්දී බලෙන් අරගෙන යනවද?
පාන්දර දෙකට? මගෙ ගෙදර ඉස්සරහ? දික්කසාද ප්රශ්නයක් කියලා හිතන්න අමාරුයි.
පාන්දර දෙකට ත්රීවීල් එකක පොඩි එකෙක් තනියම යන්නෙ නෑ; ත්රී වීල් කාරයා පවුලේ කෙනෙක් නෙවෙයිනම්.
අනික් අතට ඉස්සර පයින් ආවට දැන් කාලේ සන්නාසියෝ ත්රී වීල් වල එනවා ඇති. එහෙම උන් ඇත්තටම ඉන්නවානම් පොඩි එවුන් යන්නේ මාළු වාඩි වලටත් වඩා නරක තැන් වලට වෙන්න පුළුවන්. ඒක හිතෙනකොට් මගෙ ඇඟ වෙවුලලා ගියා.
…………………………..
“මෙන්න මේ හරියෙන් තමා සද්ද ආවා කියලා මට හිතුනේ…”
“හරියටම කීයට විතරද සද්දේ ඇහුනේ?”
“එක පහුවෙලා… සමහරවිට එක හමාරට විතර ඇති? හැබැයි වෙලාව මොකවුනත් වෙනසක් නෑ; රෑ මැද කියන්නේ රෑ මැද!”
“… මං හිතුවේ හන්දියේ ත්රී වීල් කාරයන්ට කතා කරලා බලන්න… ඒ අයට තමා ඔක්කොම ප්රවුර්ති එන්නේ - යන එන හැම එක්කෙනාම ‘වීල්’ කාරයට කතා කරනවා… අහගන්න පුළුවන් වෙයි පොඩි දරුවෝ නැතිවුන කතාවක් ඇහුනද කියලා? එතකොට දැනගන්න පුළුවන් ඒ අයගෙන් කවුරුත් අද වැඩට ඇවිත් නැද්ද කියලත්”
“ඔන්න සේකර හතරේ පහරක් එල්ල කරා!... මට හිතෙන්නේ එකොලහට විතර තමා ත්රී වී කාරයෝ අල්ල ගන්න් හොඳ; මගෙ බිලට දාලා තේ එකක් දෙකක් අරගෙන දුන්නට කමක් නෑ”
මම රෝද පුටුව කීප සැරයක් එකිනෙකට සමාන්තරව එහාට මෙහාට දැක්කුවා හොඳින් බිම පරීක්ෂා කරන්න. යුධ බිම් පරීක්ෂා කරලා මේ වගේ වැඩ මට පුරුදුයි. සේකර පැත්තකට වෙලා බලාගෙන හිටියා. විනාඩි පහලවකට පස්සේ මම ගමන නවත්තලා සේකර දිහා බැලුවා.
“පැහැදිළි ට්රැක්ස් නෑ… නමුත් අර පොඩි කොස් මුල ලඟ වැලි විසිවෙලා තියෙන හැටියට හන්දිය පැත්තට නෙවෙයි ගිහින් තියෙන්නේ. රෑ ඇහුන සද්දේ ගියෙත් එහෙම කියලා මට හිතෙන්නේ”
“තාර පාරට ගිහින් ආපහු හැරෙව්වෙ නැත්තං!”
“ඔවු… හැබැයි සද්දේ ඇහෙන වෙලාවේ මම හිතුවේ එහෙම නෙවෙයි… එකම කෙටි සද්දයක් විතරයි…”
“දැන් මොකද කරන්න ඕන සර්?”
“පොත් වල ඉන්න රහස් පරීක්ෂකයන්ට නම් මේ වෙනකොට පොඩි එකා රවටන්න දීපු සීනි බෝල වල කොල, කොකා කෝලා බෝතල් එහෙමත් හම්බ වෙලා… ආයෙ නවත්තලා තිබුන තැන තෙල් බිංදු කීපයක්! ටයර් පාරෙන් කියන්න පුළුවන් වම් පැත්තේ ටයර් එකේ පලුද්දක් තියෙනවා කියලා … ඒ රහස් පරීක්ෂකයෝ මේ වගේ පාළු තැනක ජීවත් වෙන්නෙත් නෑ - එහා ගෙදර ජේමිසාගෙනුයි ඉස්සරහ ගෙදර සීලවතීගෙනුයි අහගන්න ඊයේ රෑ සිද්ධිය ගැන!”
“හැබැයි සර් ඒ අයට අපිට වගේ වාචාල ත්රී වීල් කාරයෝ නෑ නේ!”
මම වෙලාව බැලුවා.
“සේකර… හන්දිය පැත්තේ යනවානම් දැන්මම ගියොත් හොඳයි… යන්න ඉස්සර මේ පුටුවට හයි කරන මේස ලෑල්ලයි මගෙ ලැප්ටොප් එකයි ගෙනත් දෙනවද… කන්නාඩියත් ඕනෑ… තව රෝස් පාන් කෑල්ලකුයි තේ එකකුයි තිබුනොත් වඩාත් හොඳයි…”
………………………
මේ දවස්වල මම එක එක දේ ලියනවා. ලොකු වැදගත් දේ නෙවෙයි - වෙන කවුරුත් ගණන් නොගන්න දේ - මම දවස ගෙවන හැටි වගේ. සමහරවිට මං මැරුනයින් පස්සේවත් පවුලේ අය ඒවා කියවයි. මම ගොනෙක් මිස නැහැදිච්චි එකෙක් නෙවෙයි කියලා එතකොටවත් තේරෙයි. බේබදු කාලේ වගේ නෙවෙයි දැන් මට වැඩි වියදමක් නෑ. කාලා බීලා ජීවත්වෙන්න විශ්රාම වැටුප ඇති.
කසිප්පු සිරත් ඉස්සර හමුදා පොරක්. යුද්දෙන් පස්සේ ගමේ ඇවිත් ආයෙත් පරණ රස්සාවට බැස්සා. මගෙ ජීවිතේ රෝද පුටුවට සීමා වෙලා අවුරුදු හතරකට විතර පස්සේ තමා සිරා මට ඉස්සරවෙලාම බෝතලයක් ගෙනත් දුන්නේ. මගෙ පවුල ඒක් වැඩි ගණනකට ගත්තෙ නෑ, මගෙ ඇඟපතේ වේදනා නැති කරන්න බීම උදව්වූ නිසා. මට දැන් තේරෙනවා මගෙ කසිප්පු ඇබ්බැහියෙන් පවුල කොයි තරම් දුකක් විඳින්න ඇතිද කියලා. පවුල කොළඹ පුතාගෙ ගෙදර පදිංචියට ගියේ හමුදාවේ ලොක්කන් කීප දෙනෙක් දීපු උපදෙස් අනුවයි. දැන් ගිහින් අවුරුද්දයි. පවුල ගෙදරින් යන්න සතියකට කලින් හමුදා උපදෙස් අනුව සේකර අපෙ ගෙදර ආවා.
ලඟම නගරේ වෙලඳ පවුලක උපන් සේකරට මට වඩා සල්ලි තියෙනවා. යුද්ධ කාලේ මම එයාගෙ ජීවිතේ බේරාගත්තා කියලා මිනිහා කියනවා. මට එහෙම සිද්ධියක් මතක නෑ. සේකරගෙ පළමුවෙනි කාර්යය වුනේ කසිප්පු සිරාට දුන් ‘තහනම් නියෝගයයි’. ඒ අනුව, අපෙ ගෙදරට මීටර් සියයකින් ඇතුලට ආවොත් සේකරගෙ සල්ලි වලින් රෝද පුටුවක් සිරාට පරිත්යාග කරලා, එය පාවිච්චි කිරීම අනිවාර්ය වීමට මග පාදනවා කියලා. ඉන් පස්සේ මම සිරා දැක්කේවත් මත්පැන් බීවේවත් නෑ.
මගෙ පුදුමෙට සේකර හන්දියට ගිහින් ආපහු ආවේ ත්රී වීල් එකක; කසිප්පු සිරත් එක්ක. මම සේකර දිහා බලාගෙන හිටියේ පහදා දීමක් බලාපොරොත්තුවෙන්. කතා කරනවා වෙනුවට සේකර සිරාට මා ඉස්සර බිම වාඩිවෙන්න සංඥා කරා. ඊට පස්සේ ත්රී වීල් රියදුරාට කතා කරා.
“නිහාල්… දැන් මේ මහත්තයට විස්තර කරනවද ඊයේ රෑ සිද්ධ්වුන දේ?”
නිහාල් තවම පොඩි කොල්ලෙක්. වයස විස්සක් විසිපහක් ඇති.
“… සර්… සමාවෙන්ට සර්… ඊයෙ රෑ සිරිසේන මාමා මට ගමනක් යන්ට කතා කරා… රෑ මැද. මාමට බෑ කියන්ට බැරි හින්දා මං ආවා… මට හිතුනා හොර වැඩක් වෙන්ට ඇති කියලා හැබැයි මාමා කිව්වා කිසි හොරයක් නෑ… කිව්වා විහිලුවක් විතරයි කියලා…”
කවුරුත් සද්ද නෑ. මම නිහාල් දිහා බලාගෙන; නිහාල් සේකර දිහා බලාගෙන, සේකර සිරා දිහා බලාගෙන, සිරා බිම බලාගෙන.
“අපි ලයිට් නිමලා වීල් එක හෙමින් තල්ලු කරගෙන මේ ගේ ඉස්සරහට ආවේ එකට විතර. මාම කිව්වේ එයා සිග්නල් එක දීපු ගමන් මම වීල් එක ස්ටාට් කරගෙන කඩාගෙන් යන්ට ඕන කියලා විතරයි… මාමා හෙඩ්ෆෝන් දාගෙන මොකද්දො අහගෙන හිටියා ටෙලිෆෝන් එකෙන්. ටිකකට පස්සේ හෙඩ්ෆෝන් ගලවලා සෙල් එක මගෙ ස්පීකර් වලට හයි කරා…”
නිහාල් කීප සැරයක් කෙල් ගිල්ලා, උගුර වේළුන කෙනෙක් වගේ.
“… මාමා මගෙ මූණ බලාගෙන අත ඉස්සුවා හෙමීන්. ඒ ගමන්ම ෆෝන් එකේ තිබුන ට්රැක් එක ස්පීකර් එකෙන් ආවා - කොල්ලෙක් හයියෙන් අඬනවා! තප්පරෙන් දෙකෙන් මාමා අත පහලට දැම්ම… මම බුස් ගාලා ස්ටාට් එක ගැහුවා, ගියා… එච්චරයියි… සොරි සර්…”
ඉස්සරවෙලාම් කතා කරේ සේකර.
“නිහාල්… මං කැමති නෑ උඹ කූඩුවේ ලගිනවා දකින්න… උඹෙ මාමා වුනත් සිරිසේන කියන දේ කරන්න ගියොත් ඒකයි වෙන්නේ. මම ඇවිත් අම්මටයි තාත්තටයි කතා කරනවා අද හවස - පොලිසියට යන්නෙ නෑ… අදට”
සේකර සාක්කුවෙන් සල්ලි ටිකක් එලියට ගත්තා.
“ගාන එකසිය පනහයි නේද? මෙන්න. දැන් පලයං හැබයි පරෙස්සමෙන්. සිරිසේනට පයින් යන්න් පුළුවන්”
නිහාල් පිටත්වුනාට පස්සේ සේකර සිරාට කතා කරේ.
“හමුදාවේ එකට හිටපු සෙබලෙක් හැටියට මම උඹට අවවාදයක් දුන්නා අවුරුද්දකට ඉස්සර. ඒක නිසා පලියක් ගන්න තියෙනවානම් ඒක මාත් එක්ක - සෙන්පතියෙක් එක්ක නෙවෙයි… මම ගිය සැරේ කිව්වා රෝද පුටුවක් ගැන; ආයෙ කවදාවත් මෙහෙම දෙයක් සිද්ධවුනොත් ඒක කරන්න වෙනවා. කරන්නේ මම නෙවෙයි අපෙ බලකායේ අය… හිතලා බලන්න වටිනවා… සර් මූට මොකවත් කියන්න ඕනද?”
මම පළවෙනි සැරේට කතා කරේ.
“ගෙදර ගිනි ගත්තහම ඒ පොඩි කෙල්ල බේරගන්න බැරිවුනා කියලා සිරිසේන දන්නවා. එතනදී සිරිසේනගෙ සහෝදර සෙබලෙකුත් මළා කියලා මම දන්නවා… අපි සේරම මේවා අමතක කරලා දැම්මොත් හොඳයි නේද?... මටත් තවම හීන පෙනෙනවා… සිරිසේනටත් එහෙම ඇති… අපිට සේකරට වගේ ඒවා පාලනය කරන්න බෑ මං හිතන්නේ… “
“…නමුත් මම හොඳින්ම දන්න එක දෙයක් - රෝද පුටු හිතන තරම් සැප පහසු නෑ!”